Monday, July 27, 2009

මයික්‍රොසොෆ්ට් ඔෆිස් 2007 සහ වින්ඩෝස් විස්ටා සිංහලෙන්

මයික්‍රොසොෆ්ට් සමාගම ඔෆිස් 2007 මෘදුකාංගයේ සහ විස්ටා මෙහෙයුම් පද්ධතියේ සිංහල අතුරු මුහුණත් නිකුත් කර අති බව අපි කවුරුත් වාගේ මේ වන විට හොඳාකාරව දනිමු.
ඇසූ පමණින් මෙය මහත් අර්ථ විරහිත මෝඩ ක්‍රියාවකැයි ඔබට මෙන් ම මට ද සිතිනි. මක්නිසාදයත් මෙම වසර ඉංග්‍රීසි සහ තොරතුරු තාක්ෂණ වසර ලෙස නම් කර ඇත්තේ, ලාංකීය ගැමි ජනතාව ඉංග්‍රීසි බසින් පරිපූර්ණ කර එමගින් තොරතුරු තාක්ෂණය ගමට ගෙන යාමට ඇති බස් බාධකය ඉවත් කිරීමට ය.
නමුත් මෙවැනි ක්‍රියා මගින් සිදු වන්නෙ ඔවුන්ගේ දැනුම තවත් මොට කර කුඩා සීමාවකට ඔවුන් සිර කර තැබීමක් යැයි මට හැඟේ.
කෙසේ නමුත් මෙම පරිවර්තනය හේතුවෙන් ශ්‍රී ලංකාව සහ සිංහල බස සඳහා ලොව යම්කිසි මට්ටමක පිළිගැනීමක් ලැබී තිබීම මහත් සතුටට කාරණාවකි. එම නිසා මෙය ශ්‍රී ලංකාව ලද අති විශාල ජයග්‍රහණයක් ලෙස සැලකීම වරදක් නැතැයි මම සිතමි.
මෙම අතුරු මුහුණත් නිපැයුම දිනකින් දෙකකින් සිදු වූ වක් නම් නොවන බව කිව යුතු ම ය.
මේ සත්ක්‍රියාව පිටුපස ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සහ තවත් අති විශාල පිරිසක ගේ වසර ගණනක ඇප කැප වීම ඇති බව නම් නොලියා සිටීමට සිත් නොදේ.
(දිවංගත) මහාචාර්ය වී. කේ. සමරනායක මැතිතුමා විසින් මීට වසර කිහිපයකට පෙර රෝපණය කල බීජයකින් හට ගත් පැළයක තවත් එක් ඵලයක් ලෙස මෙය හැදින්වීම වරදක් නැතැයි මම සිතමි.
ඔෆිස් 2007 මෘදුකාංගයේ සහ විස්ටා මෙහෙයුම් පද්ධතියේ සිංහල අතුරු මුහුණත් පිලිබදව අමතර විස්තර ලබාගැනීමට හෝ බාගත කර ගැනීමට උනන්දුවක් ඇත්නම් පහත දැක්වෙන වෙබ් අඩවියෙන් ලබාගත හැක.